Tuesday, August 11, 2015

ආදරය......

මිනිස් වර්ගයා මිහිමත පහලවී පරිණාමයේ ගමන්මග පසුකර නූතනත්වයට පැමිණිය ද මූලික ගෝත්‍රවාදී අදහස්,හැසිරීම් වලින් මිදීමට තවමත් ඔහුට නොහැකි වී ඇත.වැඩවසම් චින්තනය ප්‍රතිසංස්කරණ සළුවෙන් වසා දමා සියල්ල සාධාරනීකරණය කරන ධනවාදී යුගයේ ද,එහි තෙවන කාර්තුව තුළ ද මෙකී ගෝත්‍රික ලක්ෂණ මුල් ස්වරූපයේ අලුත් වෙස්මුහුණු ලෙස පවතී.ආදරය පිළිබඳව ද මෙහි වෙනසක් කිසිසේත් ම නොමැත.
ආදරය පිළිබඳ නිශ්චිත එකඟතාවක් මිනිසුන් අතර නැති බව බොහෝ පිරිසකගේ මතයයි.මෙය ප්‍රශ්න මගහැරීමට යොදා ගන්නා කියමනක් මිස ඉන් ඔබ්බට ගිය අර්ථයක් මෙහි නොමැත.ආදරය පිළිබඳ එකඟතාවක් නොමැතිවීම ම මිනිසාගේ කුහක කම හොඳින් ම විදහාපාන්නකි.එවිට එය පුද්ගලානුරූපීව,පුද්ගලබද්ධව අර්ථකථනය කර තමා රිසි පරිදි තමාගේ වුවමනා එපාකම් සඳහා  යොදාගත හැකිය.නමුත් ඔවුනට වැරදුණු තැන් බොහෝ ය.
මෙකී ආදරය පිළිබඳව මූළික අර්ථකථන ද්විත්වයක් සමාජය තුළ සංසරණය වෙයි.එහි පළමුවැන්න නම්,"ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි"යන්න වේ.දෙවැන්න "ආදරය යනු,ලිංගිකත්වය වේ"යන්නයි.මෙහි දෙවැන්න මොහොතකට පසෙකින් තබා පළමුවැන්න විශ්ලේෂණය කිරීම වටී.
මේ පවසන ආකාරයට "ආදරය රාගයෙන් තොර වූවක් නම් එය ගැහැනියකට හා පිරිමියෙකුට පමණක් සීමා වෙන්නේ ඇයි?ලොව සිටින සියළුදෙනා හට ආදරය කළ නොහැක්කේ ඇයි?අවම වශයෙන් සමාන ලිංග දරණ වුන් අතර වුවද ආදරයක් ඇතිවිය හැකි බව නොපිළිගන්නේ ඇයි?"ඒ අනෙකක් නිසා නොව මිනිසා තුළ වන අත්‍යන්ත කුහකකම නිසාවෙනි.'ආදරය යන සළුවෙන් වසාගෙන නිදිවදින්නට ඇති අශිෂ්ට ආශාව' නිසාවෙනි.
නමුත් මෙහි දෙවැන්න සමග යථාර්ථවාදී මිනිසෙකු හට යම් තරමක් දුරකට එකඟ විය හැකිය.නමුත් එහි ද අඩුපාඩු රැසකි.
ආදරය යනු ලිංගිකත්වය නම් ඊට 'ආදරය'යැයි පැවසීමට අවශ්‍ය නොවේ.මෙය භාෂාවක සමාන පද ඉගැන්වීමට සුදුසු වුවද පොළොවේ පය ගසා සිටීම ඉගැන්වීමට සුදුසු නොවේ.තව ද මෙය සමාන කළ හැකිවන්නේ ශිෂ්ටත්වය හා අශිෂ්ටත්වය අතර මායිම් ගම්මානයකටයි.
සමස්තයක් ලෙස ගත් කල මෙයින් ගම්‍යමාන වන්නේ "මිනිසා තුළ තවමත් පවතින කුහකත්වය හා තමා රවටා ගැනීමට ඇති අවිඥානික පෙළඹීම"යි.වසර ගණනාවක් තිස්සේ විකාශනය වෙමින් පැමිණිය ද මෙකී දුර්වලතාවය අංශු මාත්‍රයක් තරම් හෝ වෙනස් වී නොමැත.
කෙසේ හෝ මෙම අශිෂ්ටත්වයෙන් මිදී මිනිසා ශිෂ්ටත්වයට පැමිණිය යුතු ය.ඊට අවශ්‍ය කරන්නාවූ දෘෂ්ටිවාදීමය සංවාද-විසංවාද ඇතිවිය යුතු ය.මෙහි අවසානය මිනිසා ශිෂ්ටත්වයට පත් වීමට අවශ්‍ය පෙළඹුම සමාජය මත ලබාදීම ම  විය යුතු ය.ඉන් මෙපිට කිසිවකින් ප්‍රයොජන නොමැති බව වටහාගත යුතු ය.

No comments: