Sunday, November 1, 2015

දෙමළ හදවතක් ගැන
ලියන්නේ කොහොම ද
සිංහල පැන්සල් තුඩකින්?


දීපවාලී සඳ ද,
පිච්ච මල් ගෙත්තම ද,
හැර
දෙමළ හදවතක්
සිංහල කවි මාවතක
මුණ ගැසුණි ද?
මුණ ගැසුණ ද,
සිනාසුණි ද ඒ හා ඔබ
අවංකව ම.......?


-රිද්ම එරංග-

Wednesday, October 14, 2015



පෙර දිනෙක රාත්‍රියෙ
 වෙඩි වැදුණු හඳපාන
 තවම නුබ ගැබ ඉඳන්
 කඳුළු සලනවා ඇති


කටු පඳුරු අතර හිඳ
 පිපෙන්නට වෙර දැරූ
 මල් කැකුළු වල පැතුම්
 තවම තියෙනවා ඇති


කාස්ටක සුවඳ මුසු-වැලි කතර කොනක තව
 කුංකුමං පොට්ටුවක්-පිච්ච මල් ගෙත්තමක්
 අලුත් හිරු එන තුරා
 තවම මග බලනවා ඇති


තල් අරණ මුදුනතේ
 පිපුණු තල් මල් සුවඳ
 දෙවුන්දර තුඩුවටත්
 දැනෙනව ද දන්නේ නැති




-රිද්ම එරංග-

Thursday, October 1, 2015

නීතියේ සොඳුරු රුවැති යුවතිය
දෑස් වසා සිටී උපන් දා සිට
අතෙකින් කඟපතක් ද
අතෙකින් තුලාවක් ද ගෙන
කිරා මැන පසිඳලන්නට යුක්තිය.....
          **********************
බොහෝ කලෙක සිට දැන්  ඇය
ගැබ්බරව ඇත


කවුරුන් වේ ද ඒ දරු?
කවුරුන්ගේ ද ඒ දරු?
කෙසේ හෝ දැන් ඇය මවකි....






-රිද්ම එරංග-

Saturday, September 26, 2015


කල්ප කාලාන්තරයකට ප්‍රථමයෙන්
දහවල ද නො වූ රාත්‍රිය ද නො වූ
පහල වුණි හිරු සඳු පෘථිවි අඟහරු
මෙසේ ක්‍රමයෙන් මිනිසා ද ඇතිවිය.....

            **********************
අධිනිෂ්චය කළ රාමුවක් තුළ ඔහු
ඉපදුනි,
ළමාවිය පසුකර,
යොවුන්විය පසුකර,
විවහ විය...
දරුවන් ලැබ
ඔවුන් රැකබලාගති ඉන් පසු
දරුවෝ ද විවහ විය
දැන් මහලු ය.
මරණය ළඟ ය.
මරණය ය.


[අතුරු කතාව]
**මෙකී සියල්ල ම කරන්නා වූ
තවත් පිරිස්
බලු බළල් උරග බහුපා පක්ෂි නමින්
මිනිසාට පෙර හා පසු පහල වී තිබුණි**

Wednesday, September 23, 2015

ජනවර්ගය හා ලිඟුව එකිනෙකින් වියුක්තව ඇත...


සිංහලයාට,
දෙමළුන් අකැපය.
සිංහල ශිෂ්ණයට,
දෙමළ යෝනිය කැපය.
ඉතිං,
ප්‍රථමයෙන් රමණය ද,
පසුව මරණය ද,
ලබාදෙමු ඇයට....
සිවා.......




රිද්ම එරංග

Tuesday, August 11, 2015

ආදරය......

මිනිස් වර්ගයා මිහිමත පහලවී පරිණාමයේ ගමන්මග පසුකර නූතනත්වයට පැමිණිය ද මූලික ගෝත්‍රවාදී අදහස්,හැසිරීම් වලින් මිදීමට තවමත් ඔහුට නොහැකි වී ඇත.වැඩවසම් චින්තනය ප්‍රතිසංස්කරණ සළුවෙන් වසා දමා සියල්ල සාධාරනීකරණය කරන ධනවාදී යුගයේ ද,එහි තෙවන කාර්තුව තුළ ද මෙකී ගෝත්‍රික ලක්ෂණ මුල් ස්වරූපයේ අලුත් වෙස්මුහුණු ලෙස පවතී.ආදරය පිළිබඳව ද මෙහි වෙනසක් කිසිසේත් ම නොමැත.
ආදරය පිළිබඳ නිශ්චිත එකඟතාවක් මිනිසුන් අතර නැති බව බොහෝ පිරිසකගේ මතයයි.මෙය ප්‍රශ්න මගහැරීමට යොදා ගන්නා කියමනක් මිස ඉන් ඔබ්බට ගිය අර්ථයක් මෙහි නොමැත.ආදරය පිළිබඳ එකඟතාවක් නොමැතිවීම ම මිනිසාගේ කුහක කම හොඳින් ම විදහාපාන්නකි.එවිට එය පුද්ගලානුරූපීව,පුද්ගලබද්ධව අර්ථකථනය කර තමා රිසි පරිදි තමාගේ වුවමනා එපාකම් සඳහා  යොදාගත හැකිය.නමුත් ඔවුනට වැරදුණු තැන් බොහෝ ය.
මෙකී ආදරය පිළිබඳව මූළික අර්ථකථන ද්විත්වයක් සමාජය තුළ සංසරණය වෙයි.එහි පළමුවැන්න නම්,"ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි"යන්න වේ.දෙවැන්න "ආදරය යනු,ලිංගිකත්වය වේ"යන්නයි.මෙහි දෙවැන්න මොහොතකට පසෙකින් තබා පළමුවැන්න විශ්ලේෂණය කිරීම වටී.
මේ පවසන ආකාරයට "ආදරය රාගයෙන් තොර වූවක් නම් එය ගැහැනියකට හා පිරිමියෙකුට පමණක් සීමා වෙන්නේ ඇයි?ලොව සිටින සියළුදෙනා හට ආදරය කළ නොහැක්කේ ඇයි?අවම වශයෙන් සමාන ලිංග දරණ වුන් අතර වුවද ආදරයක් ඇතිවිය හැකි බව නොපිළිගන්නේ ඇයි?"ඒ අනෙකක් නිසා නොව මිනිසා තුළ වන අත්‍යන්ත කුහකකම නිසාවෙනි.'ආදරය යන සළුවෙන් වසාගෙන නිදිවදින්නට ඇති අශිෂ්ට ආශාව' නිසාවෙනි.
නමුත් මෙහි දෙවැන්න සමග යථාර්ථවාදී මිනිසෙකු හට යම් තරමක් දුරකට එකඟ විය හැකිය.නමුත් එහි ද අඩුපාඩු රැසකි.
ආදරය යනු ලිංගිකත්වය නම් ඊට 'ආදරය'යැයි පැවසීමට අවශ්‍ය නොවේ.මෙය භාෂාවක සමාන පද ඉගැන්වීමට සුදුසු වුවද පොළොවේ පය ගසා සිටීම ඉගැන්වීමට සුදුසු නොවේ.තව ද මෙය සමාන කළ හැකිවන්නේ ශිෂ්ටත්වය හා අශිෂ්ටත්වය අතර මායිම් ගම්මානයකටයි.
සමස්තයක් ලෙස ගත් කල මෙයින් ගම්‍යමාන වන්නේ "මිනිසා තුළ තවමත් පවතින කුහකත්වය හා තමා රවටා ගැනීමට ඇති අවිඥානික පෙළඹීම"යි.වසර ගණනාවක් තිස්සේ විකාශනය වෙමින් පැමිණිය ද මෙකී දුර්වලතාවය අංශු මාත්‍රයක් තරම් හෝ වෙනස් වී නොමැත.
කෙසේ හෝ මෙම අශිෂ්ටත්වයෙන් මිදී මිනිසා ශිෂ්ටත්වයට පැමිණිය යුතු ය.ඊට අවශ්‍ය කරන්නාවූ දෘෂ්ටිවාදීමය සංවාද-විසංවාද ඇතිවිය යුතු ය.මෙහි අවසානය මිනිසා ශිෂ්ටත්වයට පත් වීමට අවශ්‍ය පෙළඹුම සමාජය මත ලබාදීම ම  විය යුතු ය.ඉන් මෙපිට කිසිවකින් ප්‍රයොජන නොමැති බව වටහාගත යුතු ය.

Monday, August 10, 2015

ශිෂ්ටත්වය.....


ශිෂ්ටත්වයේ උපරිම තලයෙහි,


ආදරය නැත
ලිංගිකත්වය ඇත
වස්ත්‍ර නැත
නිර්වස්ත්‍ර ඇත
රාජ්‍ය නැත
සමාජය ඇත
රජුන් නැත
මිනිසුන් ඇත
ධනය නැත
සම්පත් ඇත
රැකියා නැත
යුතුකම් ඇත
නීතිය නැත
යුක්තිය ඇත
අරගල නැත
සාමය ඇත
විඳීම් නැත
සංසිඳීම ඇත
'මම' නැත
'අපි' ඇත.........


-රිද්ම එරංග-

Saturday, August 8, 2015

ඊනියා සංස්කෘතිය,

ඊනියා සංස්කෘතිය,


නිරුවත් මිනිස,
විළි වසා ගනු පිණිස තනා
මුහුණ වසා ගත්
සළුව...........





Monday, August 3, 2015

          ඉතින් එක දවසක.............


උණුසුම් වදන් සර ගුවනට මුසු          වෙන්නා
ඩා බිඳු මිණි කැකුළු පොළොවට මුසු වෙන්නා
පීඩිත සිතක් තුළ වයිරය මතු            වෙන්නා
සිඳ බිඳ බැමි පවුරු ඉදිරියට ම              යන්නා


"මාක්ස්,ලෙනින් කොහෙ වෙතේ
සෙවණැලි ලෙස මෙතැන වෙතේ
චේ ගුවෙරා කොහේ        වෙතේ
දිළිඳු අපෙ හදේ                වෙතේ"


කාල වර්ණ වී අහස ම         ගුගුරන්නේ
මේකුළු ගැටී ඒ සමග ම හෙණ ලන්නේ
ඊහිස් විලස මහ වැහි කඳු ඇද ලන්නේ
ඒ හැම පරදවා ඉදිරියට ම         යන්නේ


"අපි යන්නේ කොයි පාරේ
මාක්ස් ලෙනින් ගිය පාරේ
අපි යන්නේ කොයි  පාරේ
චෙ ගුවෙරා ගිය       පාරේ"


සීත සුළං රැළි මාරුතයක්                      වීලා
දිව්‍ය මැදුරු වල හැපිලා                   කැළඹීලා
සඳළුතල මතින් දෙවියන් ඇද             වැටිලා
පොඩිකර දමා මහ පොළොවේ යට කැරැලා


"අප සොයනා ලොවක්     ඇතේ
ඒ ලොව දිව මැදුරු           නැතේ
සොයුරු සොයුරියෝ වෙසෙතේ
එකා වන්ව දිවි              ගෙවතේ"


ගලනා මහ ගඟක් නවතන්නේ    කෙලෙසා
ගලනා ජන ගඟක් නවතන්නේ    කෙලෙසා
හෙළනා අකුල් රන් කහවණු          බැර වීලා
පොඩිවී තැලෙයි ජන ගඟට ම         යට වීලා


"විරුවන් විලස යුද පිටියේ මිය         යාම
සියල්ලට වඩා අගනේ දැන             ගනුව
යම් ලෙසකින් පැරදීලා දිවි            ගෙවුම
නිවට කමකි තොපි සැමදෙන දැනගනුව"


'විමුක්තිය' සොයා අරගල       කරමින්නේ
පීඩිත ප්‍රාණ පොදි ඉදිරියට ම        යන්නේ
ලෝකය පෙරළිලා නව යුගයක්     එන්නේ
ඒ දින අත ළඟයි ඉදිරියටන්ම        යන්නේ



-රිද්ම එරංග-











කවිය යනු,නිරුත්සාහික ව ගලා එන ප්‍රබල හැඟීම් ය.
-විලියම් වර්ඩ්ස්වර්ත්-

Saturday, August 1, 2015

කවියාගේ මෙහෙය විය යුත්තේ නම් නොකළ දේ නම් කිරීමත්,වංචාව හෙළිදරව් කිරීමත් නිවැරදි පැත්ත ගැනීමත් ඒ වෙනුවෙන් විවාද කිරීමත් ලෝකය හැඩගැන්වීමත් එසේ ම ලෝකය අවදියෙන් තැබීමත් ය.
****************සල්මන් රුෂ්ඩි******************
සීතල නිශා අඳුර ගෙන
අහසට වඩින අමාවක සඳ
ආත්මීය සිරගෙයි යදම් අතරින්
හෙමි හෙමින් පැමිණ දොඩමළුව
මිහිදුම් පටල,සුළඟ හා මුසුව


අදින් වසර තාරකා සංඛ්‍යාවකට පෙර
මිහිමත විසූ එක් සහෘදයෙකුගේ
සියුම් ගී මිමිණුම් ඇසේ දෙසවන් පුරා


"අතීතයෙහි ශ්‍රී විභූතිය ගෙන විරාජමාන
විසල් නුග රුක,මම නුඹට වයිර කරමි
අතීතකාමය නම් නුඹ,හිරුගේ ආලෝකය වසා ඇත
නුඹ පාමුළ අඳුර පමණෙකි"


**************************************
දෘඪ,ජඩ,මූසල,මෘග වියාලයින් පිරි
සමාජය නම් සම්මුතියෙහි සිරගෙයි
යදම් බිඳවැද අභිනික්මනට සැරසෙන
"සිද්ධාර්ථ,නවතිනු!!!!!
රජුන් වටී.........

එබැවින්,සක්විති රජදහන වෙනුවෙන් වෙහෙසෙනු
එකල නුඹ ජීවිතය ජයගත්තා වේ
තවද එය සාර්ථකත්වය ද වනු ඇත"
පරම්පරාගත සොහොන් බිම සිට
හතර රියන්කඩ පවා අහිමි ඇටසැකිලි
මහ හඬින් මොර දෙයි


-රිද්ම එරංග-